Saturday, May 31, 2014

තැලසීමියා පොරොන්දම


මෙය තැලසීමියාව පිළිබඳව ඉදිරිපත් කල මාතෘකා වලින් ඉතාම වැදගත් එකක් ලෙස සැලකිය හැකිය.එය එසේ වන්නේ අනාගත පරපුරක නිරෝගිතාවය අද ඔබේ දැනුවත් භාවය මත තීරණය වන බැවිනි.

තැලසීමියා පොරොන්දම යනු වාහකයන් දෙදෙනෙක් අතර විවාහයන් වැලක්වීමට හා ඒ පිළිබඳව දැනුවත් භාවය වැඩි කිරීම සඳහා ගෙන ආ සංකල්පයකි. 

තැලසීමියා රෝගය සුව කල නොහැකි වුවත් එය සම්පුර්ණයෙන්ම වලක්වා ගත හැකි රෝගී තත්වයකි.
තැලසීමියා රෝගයෙන් තොර දරුවෙක් සදහා එකම අවශ්‍යතාවය වනුයේ දෙමව්පියන්ගෙන් එක අයෙකු හෝ නිරෝගී වීමයි.(පෙර ලිපි වලින් පැහැදිලි කල අයුරින් )

මේ සඳහා ඔබ කල යුත්තේ කුමක්ද?

සෑම අයෙක්ම විවාහය සඳහා තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට පෙර රුධිර පරීක්ෂාවක් මගින් තමා වාහකයෙකුදැයි  හඳුනා ගන්න.එවිට විවාහය පිළිබඳව බුද්ධිමත් තීරණයක්  ගත හැකිය.

   
වාහකයෙකු නම් තවත් එවැනි වාහකයෙකු සමග විවාහ ගිවිස නොගැනීමට වග බලාගන්න.
(තැලසීමියා පොරොන්දම නොගැලපේනම්)



ඔබ වාහකයෙකු නොවේ නම් ඔබ තැලසීමියා වහකෙයෙකු හෝ රෝගියෙකු සමග විවාහ වුවත් ඔබට දාව තැලසීමියා රෝගී දරුවෙකු බිහි නොවේ .

ඔබගේ ඉදිරි පියවර විය යුත්තේ,

       ඔබේ විවාහයට පෙර හැකි ඉක්මනින් ලගම ඇති තැලසීමියා මධ්‍යස්ථානයක් වෙත යන්න .එහිදී ඔබගෙන් රුධිර සාමපලයක් ගෙන  නොමිලයේ  පරීක්ෂා කර බලනු ලබන අතර පැයකටත් අඩු කාලයකදී එහි ප්‍රතිපල ලබාදෙන අතර වෛද්‍යවරයෙකු විසින් එය පරීක්ෂා කර බලා ඔබ නිරෝගී නම් හරිත පතක්ද ඔබ වාහකයෙකු නම් රෝස පතක්ද නිකුත් කරනු ලැබෙයි.

කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේදී 
   සතියේ දින වලදී නම්  පෙ.ව 8.00-ප.ව 11.30 
                                        ප.ව 2.30-ප.ව 3.30
   සෙනසුරාදා දින           පෙ.ව 8.00-ප.ව 11.30  
                                            යන කාලයන් හිදී රුධිර පරීක්ෂාවන් සිදු කරනු ලැබේ.
 ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී වසා ඇත.
                        

                        සියලු පොරොන්දම් ගලපමින් රුපියල් දහස් ගණනින් වැය කරමින් සිදු කරන ඔබේ විවාහය  අරුත්දායක වීමටත් ඔබේ අද නොසැලකිල්ල හෝ ප්‍රමාදය පසුව පසුතැවිල්ලක් නොවීමටත්  වගබලා ගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමය,.ඔබත් අදම ඔබේ රුධිර පරීක්ෂාව කරගන්න .

වලක්වා ගත හැකි මෙවැනි රෝගිත්ත්වයන් වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සැම පුරවැසියෙකුගේම යුතුකමකි.

වැඩි විස්තර සඳහා 
      ජාතික තැලසීමියා මධ්‍යස්ථානය
ශික්ෂණ රෝහල 
කුරුණෑගල
037-2222261/62
037-2233906
0372224131 

Email-ntckurunegala@yahoo.com





ශ්‍රී ලංකාවේ අද තත්ත්වය

දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2% -3% අතර ප්‍රමාණයක් ද   වයඹ පළාතේ ජනගහනයෙන් 10% ක් පමණද තැලසීමියා රෝග වාහකයන් බවට ඇස්තමේන්තු කර ඇත .ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම තැලසීමියා රෝගීන් හදුනා ගන්න අතර වයඹ ,උතුරු මැද ,ඌව හා මධ්‍යම පළාත් වලින් රෝගීන් බහුලව වාර්තා වේ.
 

දැනට අප රට තුල තැලසීමියා රෝගීන් 1600 පමණ සිටින අතර වසරකට තවත් 80-100 ප්‍රමාණයක් අලුතින් එකතු වේ.
දැනට අප රට තුල තැලසීමියා මධස්ථාන 4 ක් පිහිටුවා ඇති අතර එයින් ප්‍රධානම මධ්‍යස්ථානය වන ජාතික තැලසීමියා මධ්‍යස්ථානය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිහිටා ඇත.අනෙක් මධ්‍යස්ථාන රාගම,අනුරාධපුරය බදුල්ල යන නගරවල පිහිටුවා ඇත.

මෙම මධ්‍යස්ථාන හා සම්බන්ධ විය හැකි විස්තර පහතින් දැක්වේ.

ජාතික තැලසීමියා  මධ්‍යස්ථානය.
ශික්ෂණ රෝහල
කුරුණෑගල
037-2222261/62
037-2233906
0372224131



තැලසීමියා සහන පියස 
21/22 වාට්ටුව 
වෛද්‍ය පීඨය 
උතුරු කොළඹ   ශික්ෂණ රෝහල
රාගම 
011-2959642

තැලසීමියා  මධ්‍යස්ථානය.
ශික්ෂණ රෝහල
අනුරාධපුරය 
025-2222261 EXTENTION 266

තැලසීමියා  මධ්‍යස්ථානය.
ශික්ෂණ රෝහල
බදුල්ල 
055-2222261 EXTENTION 223






තැලසීමියාව යනු (දෙවන කොටස)

 තැලසීමියාව හා එහි රෝග ජනන ක්‍රියා වලිය පසුගිය ලිපියේදී අප සාකච්චා කරනු ලැබූ අතර මෙමගින් තැලසීමියා රෝගය එහි ප්‍රභේද හා එය වැළඳිය හැකි ආකාරය ගැන සාකච්චා කරනු ලැබේ.
  අප ඉහතින් සදහන් කල පරිදි මෙම රෝගය ඇති වන්නේ රතුරුධිරානු වල ඇති ග්ලොබින් ප්‍රෝටීනය නිෂ්පාදනයේ දුබලතාවක් නිසාවෙනි.මෙහි ඇල්ෆා හා බීටා දාම සලකා මෙම රෝගය ප්‍රදාන වශයෙන් කොටස් කිහිපයකට වර්ගකරනු ලැබේ.
මෙයිනුත් ශ්‍රී ලාංකික අපට ප්‍රධාන වශයෙන්ම වැදගත් වන ප්‍රභේද වන්නේ

  1. බීටා තැලසීමියාව
  2. ඇල්ෆා තැලසීමියාව
  3. ඊ බීටා තැලසීමියාව
මෙම ප්‍රභේද 3න් රෝගීන් වැඩිම ගණනක් ඇතුලත් වන්නේ බීටා තැලසීමියාව ට වේ.

තැලසීමියා රෝගය වැළදෙන්නේ කෙසේද?
 අපගේ ශරීරයේ හැඩරුව හා ක්‍රියාකාරිත්වය   තීරණය වන්නේ දෙමව්පියන්ගෙන් අපට උරුම වන ජාන මගිනි.
  දරුවෙකු පිලිසිඳ ගැනීමේදී සිදුවන්නේ මවගෙන්  හා පියාගෙන් ලැබෙන ජාන කොටස් එකට බද්ධ වීමයි.

එලෙසම රතුරුධිරාණු වල ඇති  ග්ලොබින් ප්‍රෝටීනය සාදන්නේද මෙලෙස ජාන එකට ඒකාබද්ධ වීමෙනි.
තැලසීමියාව සෑදෙන්නේ අසමාන්‍ය ග්ලොබින් ජන හේතුවෙනි.
පිළිසිඳ ගැනීමකදී එක් අයෙකුගෙන් ලැබෙන අසමාන්‍ය තැලසීමියා ජානය අනෙක් සහකරු හෝ සහකාරිය ගෙන් ලැබෙන සාමාන්‍ය ජානය සමග එක්වී ලැබෙන දරුඅව කිසි විටෙක තැලසීමියා රෝගියෙක් බවට පත් නොවේ.එනමුත් එම දරුවා තැලසීමියා වාහකයෙක් විය හැකිය .
මව හා පියා යන දෙදෙනාටම අසාමාන්‍ය තැලසීමියා ජාන උරුම වූ විට ඔවුන්ගෙන් බිහිවෙන සමහර දරුවන්
තැලසීමියා රෝගීන් විය හැකිය.මෙය පහත රූප සටහන මගින් පැහැදිලිව අවබෝධ කරගත හැකිය .


මේ අණුව වාහක දෙමව්පිය යුගලයකට තැලසීමියා රෝගී දරුවෙකු ලැබීමේ ඉඩ ප්‍රස්ථාව 25% වේ.
වාහක දරුවෙක් ලැබීමේ අවස්ථාව  50% වේ.නිරෝගී දරුවෙක් ලැබීමේ අවස්ථාව  25% වේ.
ඒ අනුව නිරෝගී පුද්ගලයෙක් සමග විවාහ වන තැලසීමියා වාහකයෙක් හෝ රෝගියෙක්ට කිසිම විටක රෝගී දරුවෙක් ලැබීමේ අවස්ථාවක් නැත.
(වාහකයෙකු යනු තැලසීමියා රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් රෝගය ඉදිරි පරම්පරාවලට දායක කල හැකි පුද්ගලයන් වේ.)

තැලසීමියාව යනු (පළමු කොටස)

                   තැලසීමියාව යනු  රුධිරයේ අඩංගු රතු රුධිරානු වල ඇතිවන දුර්වලකමක් නිසා රතුරුධිරානු බිඳ වැටීම  සිදුවන  රෝගී තත්වයකි .සරලව විස්තර කළහොත් රක්තහීනතා තත්වයකි.මෙම රෝගයේදී සිදුවන ක්‍රියාවලිය තේරුම් ගැනීමට අපට මිනිස් රුධිරය හා කාර්යන් පිළිබධව සරල අවබෝධයක් අවශ්‍ය වේ.
මිනිස් රුධිරය ප්ලාස්මාව හා රුධිරසෛල  වලින් යුක්ත වේ.ප්ලාස්මාව යනු රුධිරයේ ද්‍රව මාධ්‍ය වන අතරසෛල   වර්ග ලෙස රතු රුධිරානු ,සුදු  රුධිරානු ,වසා සෛල ,පට්ටිකා ආදිය අයත් වේ.


මෙම සෛල  අතරින් රුධිරයට රතු පැහැය ලබාදීමට දායක වන්නේ රතු රුධිරානු  වේ.තැලසීමියාවදී  රෝගී වන්නේ මෙම රතු රුධිරානු වේ.රතු රුධිරානු වල ප්‍රධානම කාර්යභාරය වන්නේ සිරුරේ විවිද අවයව වලට අවශ්‍ය වන ඔක්සිජන් එම අවයව හෝ පටක වලට ප්‍රවායනය කිරීමයි.


රතු රුධිරනුවට මේ කාර්ය කිරීම සදහා දායක වන්නේ එම සෛල  වල අඩංගු හීමොග්ලොබින් නම් විශේෂ අණුවයි.මෙම අණුව හීම් සහ ග්ලොබින් ලෙස කොටස් 2කින් තැනී ඇත.
මෙම ග්ලොබින් ප්‍රෝටීන්  අණුව ඇල්ෆා දාම 2කින්ද බීටා දාම 2 කින්ද  සකස් වී ඇත.

තැලසීමියා වේදී  සිදු වන්නේ මෙම ඇල්ෆා හෝ බීටා දාම නිෂ්පාදනයේ දුර්වල තාවයක් හටගැනීමයි.මේ නිසා රතු රුධිරානු වලට ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේ හැකියාව අඩුවී යයි.තවද මෙම   රතු රුධිරානු සමාන්‍ය රතු රුධිරානු මෙන් නොව අසාමාන්‍ය ව්‍යුහයකින් යුක්ත නිසා ප්ලීහවේදී මෙම  සෛල විනාශ වී යයි.මේ මගින් රෝගී තත්වය තවත් උග්‍ර වේ.(ප්ලීහාවේ  කාර්ය වනුයේ අසාමාන්‍ය රතු රුධිරානු බිද හෙළ එහි සංඝටක රුධිරයට  නිදහස් කිරීමයි.)

ඉහත සදහන් කල ග්ලොබින් ප්‍රෝටීනයේ නිෂ්පාදනය පාලනය වන්නේ ජාන මගිනි.මෙම ජානයේ ඇති වන  විකෘතියක් නිසා මෙලෙසින් ග්ලොබින් ප්‍රෝටීනයේ නිෂ්පාදනය දුර්වල වේ .මෙම ජාන පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන නිසා තැලසීමියා රෝගයද පරම්පරාවෙන් පරාවට ගමන් කරන රෝගයක් ලෙස සැලකෙයි.

මේ පිළිබඳව තවත් තොරතුරු ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.